ශ්‍රී ලංකාව “කැසිනෝ” සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක්

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි. එමෙන්ම 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් මෙම බද්දට යටත් වන බව ඔහු පවසනවා.

ඒ අනුව මෙම බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ පැවති කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින්.

මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත අයුරින් බදු මුදල අය කරගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බව අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කරගැනීමට රජය සමත්වී ඇති බවත් මීට පෙර කැසිනෝ ශාලාවලින් අය කර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අය කරන බව‍යි.

ඒ අනුව මේ වනවිට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!