ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට කියූ අමෙරිකාවේ “පාස්පෝට් DC” උළෙල (Photos)

අමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල, සිය රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහා දැක්වීමට “පාස්පෝට් DC 2024” උළෙල සංවිධානය කරන අතර එම උළලේ දී 5000කට අධික වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වූ බව “පාස්පෝට් DC වැඩසටහන” නිළ වශයෙන් ප්‍රකාශ කළා.

යුරෝපයේ නොවන රටවල් 55ක තානාපති කාර්යාල අතර උළෙල පසුගිය 04 වැනිදා පැවැති අතර එම රටවල් අතරින් විශේෂ ආකර්ෂණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය පළකර තිබෙනවා.

එම අවස්ථාවට පැමිණි පිරිසට ලංකාවේ රස කැවිලි, උණුසුම් හා සීතකල තේ සංග්‍රහයක් ලබා දුන් අතර පිටවන විට ද රසකැවිලි හා තේ පාර්සල් ලබාදුන් බව වාර්තා වෙනවා. “ග්‍රොසරි ලංකා” ඇතුළු පෞද්ගලික ව්‍යාපාරික අංශය මගින් ලංකාවේ නිෂ්පාදිත බිස්කට්, කුරුදු හා පාන වර්ග ද ලබා දුන් බවත් සදහන් වෙනවා.

බෙරවාදන, සළු පාලියට අදාළ යකෙකුගේ වෙස් ගත් රංගනයන් ආදී බහු සංස්කෘතික කලා අංග රැසකින් එම උත්සවය වර්ණවත් වුණා. යකා සමග හා සරම හා ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව එම උළළේ දී කැපී පෙනුනා.

ඉන්දික අත්තනායක, චතුරි කලුආරච්චි, අචිලා හා නන්දනී යන පිරිසගේ මෙහෙයවීමෙන් එම කලා අංග ඉදිරිපත් කරනු ලැබුවා.

තවද කුටිල ප්‍රමුඛ සෙරන්ඩිබ් කණ්ඩායමේ සංගීතය හා ඩී. අයි. සේනාරත්නගේ සැක්සපෝන් වාදනය, උත්සවයට සහභාගී වූ කාගේත් අවධානයට ලක් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පරිසරය හා ජීවන පසුබිම එළිදැක්වූ ඡායාරූප ප්‍රදර්ශනය ද බොහෝ දෙනාගේ ආකර්ෂනයට දිනා ගනු ලැබුවා. ඒ සූර්යා පෙරේරා, ශාන්ත වීරසිංහ, හිරන්ති ද සිල්වා, ලක්ෂිත කරුණාරත්න හා සංජය වර්ණසූරියගේ කැමරා කාචයේ රැදුණු සුන්දර ඡායාරූප එකතුවක්.

මෙම අවස්ථාව සඳහා සහභාගී විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විස්තර ලබා ගැනීමේ පහසුකම් ද සපයා තිබුණා.

වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු නිළධාරීන් මෙම උත්සවය සංවිධානය කළ අතර සංචාරක මණ්ඩලය ඊට අනුග්‍රහය දක්වා තිබුණා. SL එසෝෂියේෂන් වොෂි: DC,ලංකා කලා පදනම, අපේ කට්ටිය, SL රංග කලාකවය, බෙතෙස්ඩා අපි, Hospitels ser: cou:Greater Washington සංවිධානවල සහාය ද එයට ලබා දුන්නා.

මෙම අවස්ථාව පිළිබද වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙලෙස අදහස් දැක්වූවා.

“මෙවැනි උත්සව සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ඇති ප්‍රතිරූපය ඉහළ යනවා. තේ, ඇගළුම්, කුළුබඩු ඇතුළු අපේ නිෂ්පාදනවලට ඇමෙරිකාවේ වෙළෙදපොළ තුළ ලොකු අගයක් ලබා ගැනීමටත් හැකිවෙනවා. ඒ වගේම ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරමින්, ඇමෙරිකානු සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරයට යම් පෙළඹවීමක් ඇති කරන්නත් ලොකු පිටුවහලක් වෙනවා. මේ සඳහා කැපවූ තානාපති නිලධාරීන් හා සේවකයන්ගේ කැපවීම හා ස්වේච්ඡා සේවය සංවිධාන ලබාදුන් සහය අගය කරනවා.”

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!