විදේශගත ගෘහ සේවිකාවන් ගැන කෑ ගහන්න ඕනෑ තරම්. ඒත් දේශීය ගෘහ සේවිකාවන් ගැන කවුරුවත් බලන්නේ නෑ

විදේශ රැකියා වල නිතර ගෘහ සේවිකාවන්ට කරදර සිදුවන බවට කෑ ගැසීමට රාජ්‍ය නොවන සංවිධාන ඕනෑ තරම් තිබෙන නමුත්, ඉතා සුළු වැටුපකට වහලුන් මෙන් සේවය ලබාගන්නා දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් හඬක් නැගෙන්නේ නැති බවත්, මෙයට විසදුමක් ලබාදෙමින් ඔවුන්ට ගරුත්වයක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

රටක් ලෙස අනාගතවාදී වී අනාගතය වෙනුවෙන් වැඩකළයුතු බව අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ගෘහ සේවිකාවන් සමඟ අද (15) පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සදහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ගෘහ සේවිකාවන් සමග පැවති සාකච්ඡාවකදීය

එහිදී අමාත්‍යරයා මෙසේද පැවසීය.

මේ රටේ සෑම වෘත්තියකම නිරත වෙලා පිරිසට විශේෂයෙන්ම අවිධිමත් අංශයේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න පිරිසට ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.

අපි අවුරුද්දකට අධික කාලයක් මේ ගැන කතා කළා අවශ්‍ය මූලික වැඩකටයුතු කළා. අපි අද මේ කතා කරන්නේ නිසි වැඩ පිළිවෙලක් සමඟින් වගේම ඊට අවශ්‍ය මූලික අනුමැතීන් පවා ලබාගෙනයි. ලංකාවේ දැනට ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. වලට දායක වන්නේ ලක්ෂ විසි පහක පමණ පිරිසක් විතරයි. ඒ කියන්නේ හාම්පුතා සහ සේවකයා අතර සම්බන්ධතාවයක් තියෙන කොම්පැනි වල සෘජු රැකියා කරන අය තමයි මේකට දායක වෙන්නේ.

ඇත්තටම අනතුරක් වුනොත් ඒ ගැන බලාගන්න, අවුරුදු 55න් පස්සේ දීමනාවක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ ඒ අයට විතරයි. ඒ වගේම මේ අයට මාතෘ නිවාඩු වගේ පහසුකම් ගොඩක් තියෙනවා.

හැබැයි තවත් රටේ වැඩ කරන ලක්ෂ පනහකට හැටකට වගේ පිරිසක් ඉන්නවා. ඒ අය අර කලින් කිව්ව වගේ රැකියා නොකරන අයයි. මේ අයට විශ්‍රාම වැටුපක් හෝ පාරිතෝෂික දීමනාවක්වත් වැනි කිසිවක් නැහැ. මේ අයට වැඩ කරගන්න බැරි වුනායින් පස්සේ ජීවත් වෙන්නේ කෙහොමද කියලා කවුරුවත් හොයලා බලන්නේ නැහැ.

හැමෝගෙන්ම වැඩගන්න පුළුවන් කාලයේ වැඩ ගන්නවා. ගෘහ සේවිකාව, මේසන් බාස්ට වගේම අනිකුත් හැම අවිධිමත් ක්ෂේත්‍රයකම නිරතවෙලා ඉන්න අය තමන්ගේ අතේ පයේ හයිය තියෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ ඒ අයට කිසිම ආරක්ෂාවක්, රැකවරණයක් නැතිවෙනවා.

අපි රාජ්‍ය සේවකයින් දිහා බලමු, ඒ අයට ජනතාවගේ බදු මුදල් වලින් වැටුපක් ගෙවනවා. ඒ වගේම ඒ අයට තියෙනවා විශ්‍රාම වැටුපක්. ඒ අය මැරෙනකම්ම ඒ විශ්‍රාම වැටුපට හිමිකම් කියනවා. ඒ අතරතුරදී මාතෘ නිවාඩු වගේ ගොඩක් පහසුකම් දීමනා තියෙනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ඒ වගේම පහසුකම් තියෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප වෙනුවට පාරිතෝෂික තියෙනවා.

ඒත් ගෘහ සේවයේ ඉන්න ඔබට මේ කිසිවක් නැහැ. එහෙනම් රටේ වැඩි පිරිසක් ඉන්න වක්‍ර රැකියා සහ අවිධිමත් අංශයේ වෘත්තීන් වලයි නිතරවෙලා ඉන්නේ. ඒත් රටේ ආර්ථිකයට දැවන්ත දායකත්වයක් ලබා දෙන ඔබට ඇතුලු මේ පිරිසට මම කලින් කිව්ව පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කළා මේ දේවල් පුළුල් කරලා සියලු වැඩ කරන ජනතාවට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා. එහිදී කැබිනට් මණ්ඩලය මාස 6ක් ඇතුලත මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළයුතුයි කියලා අපිට කිව්වා.
මෙහිදී අපිට ඔබව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් පස්සේ ඔබටත් අවුරු 55න් පස්සේ විශ්‍රාම වැටුපක් එහෙමත් නැත්තම් එකවර හිමිවෙන දිමනාවක්, හරියට ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. එක වගේ ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුළුවන්.

එහිදී ඔබටත් මාතෘ නිවාඩු හිමිවෙන, අනෙකුත් පහසුකම් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම ගැන සාකච්ඡා කිරීමටයි අද ඔබට මෙතැනට පැමිණෙන ලෙසට ආරාධනා කළේ. ඒත් මේ ක්‍රමවේදය කම්කරු ඇමති විදිහට මම තනියම හදලා හරියන්නේ නැහැ.

නොදැනුවත්කම නැති කරගන්න පුළුවන් නම් ලෝකය ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. අද සමාජයෙත් ලොකුම හතුරා වෙලා තියෙන්නේ නොදැනුවත්කමයි. බොහොවෙලාවට ප්‍රශ්න ඇති වෙන්නෙත් නොදැනුවත්කම නිසයි.

නිලධාරීන් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලවල් සකස් කරන්න යද්දි අපිට තියෙන ලොකුම ප්‍රශ්න වෙන්නේ නොදැනුවත්කමයි. අපි ඔබේ වෘත්තිය සම්බන්ධයෙන් දැනුවත් නැහැ. එනිසාමයි ඔබ රැකියාවේ නිතර වෙන ක්ෂේත්‍රයට ගරුත්වයක්, සාරවත්බවක් දෙන්නෙ කොහොමද කියලා අවබෝධ කරගැනීමට ඔබේ දැණුවත්කම, අත්දැකීම් අපිට අවශ්‍ය වෙන්නේ.

ගෘහ සේවිකාවන් විවිධ ගම් පළාත් වලට ඇවිල්ලා, රැකියාව කරනවා. ඒත් මේ අයගේ වැටුප පිළිබඳ කිසිම නිෂ්චිත බවක් නැහැ. ඒ නිසාම ඉතාම අඩු වැටුප් ලබන කාන්තාවන් ඉන්නවා. ඒ වගේම මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීම් වෙන්නෙත් ඉතාම අඩුවෙනුයි.

බෙහෙත් ටිකක් ගණ්න ගියාම, සමහර හාම්පුතුන් හොදනම් ගැටලුවක් නැහැ ඒත් හම්පුතා හොඳ නැත්තම් අපහසුතා ඇති වෙනවා. ඒ වගේම මේ අයට ගෘහස්ථව සිදුවන හිංසන, ඒවාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ඒවාට කාටද පැමිණිලි කරන්නේ? කවුද ඒ අය ගැන බලන්න? කියන කාරණා ගැනත් අපි කතා කළයුතුයි.

ඒ වගේම ඔබට හරියට නිදා ගන්න තැනක් දෙනවාද. ඒකට හරියන පහසුකම් ඒ නිවාස තුල තියෙනවාද. කියන කාරණා ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. ගෘහ සේවයට එන සමහර අයගෙත් විවිධ ප්‍රශ්ණ තියෙනවා. ඒ වගේම එයාලා හොරකම් කළා, අරහෙම කළාමෙහෙම කළා වගේ නොයෙකුත් පැමිණිලි එන්නත් පුළුවන්. ඒ සඳහාත් අපි විසදුමක් හොයමු.

අද වෙනකොට ඕනෑම කෙනෙකුට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. අපි ඒක වෙනස් කරමු. ඔබටත් වෘත්තිය ගරුත්වය දෙන්න නම් ඒ සදහා යම් කිසි ක්‍රමවේදයක් ඔබ යෝජනා කළයුතුයි. උදාහරණයක් විදිහට ගෘහ සේවය සදහා විදේශගත වෙනවා නම් ඒ සදහා එන්.වී.කිව් 3 මට්ටමේ සහතිකයක් තියෙන්න ඕනේ.

ඒ වගේම ඔබත් පුහුණුවක් ඕනේද? ඒ වගේම අවුරුද්දකට සැරයක් ඒ තත්ත්වය තියෙනවාද? සෞඛ්‍ය තත්ත්වය හොඳද කියලා බලන ක්‍රමවේදයක් නැත්තම් කොයි විදිහටද මේ වෘත්තියේ ගුණාත්මකභාවය තියාගෙන යන්නේ. වැටුප් තලයන් කොහොමද තීරණය කරන්නේ. කියන කාරණා සකස් කරගත්තොත් මේ රටේ ගෘහ සේවයටත් ගෞරවණීයභාවයක් දෙන්න පුළුවන්.

අපේ රටේ ඕනේම කෙනෙක්ව ගෙදර වැඩට ගන්න පුළුවන්. හැබැයි විදේශ රටවලදී ගෙදරට වැඩට ගන්නවා නම් ඒ සඳහා රජයෙන් විශේෂ අනුමැතියක් ගතයුතුයි. එහිදී මේ සේවයට ගන්න කෙනාට නිදාගන්න පහසුකම් තියෙනවාද. වැඩ කරන කොනාට ටීවී එකක් බලන්න ඉඩක් කඩක් තියෙනවාද. සෞඛ්‍ය පහසුකම් තියෙනවාද. කියල බලලයි රජයෙන් ගෙදරට වැඩට කෙනෙක් ගන්න අනුමැති දෙන්නේ.

අපි කියන්නේ අපේ රටෙත් එහෙම ක්‍රමවේදයක් තිබිය යුතුයි. කෙනෙක් වැඩට ගන්න හිතුනාම කෙනෙක් ගෙන්වන්න බැරි වෙන ඒ වැඩට ගන්න කෙනාට දෙන අවශ්‍ය අවම පහසුකම් මොනවාද කියලා බලලා ඒවා සපයන්න පුළුවන්නම් විතරක් කෙනෙක් වැඩට ගන්න ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටයි අපි කටයුතු කළයුත්තේ.

අපි බලාපොරොත්තු වෙනවා ඔබේම වෘත්තීය සංවිධානයක් ගොඩනගන්න. ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි. නීතිඥයින්ට නම් නීතීඥ සංගමයක් තියෙනවා. ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි. ඒක නීතිඥ වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්.

ගෘහ නිර්මාණ ශිල්පීන්ටත්, ගණකාධිකාරීවරුන්නටත් වෙනම සංවිධාන තියෙනවා. ඒවා පෙනී ඉන්නේ වෘත්තිය වෙනුවෙන්. ඉතින් අපි කියන්නේ ගෘහ සේවිකාවන්ටත් ඔවුන් සියලුදෙනා එකතුවෙලා ඒ වගේ ඔවුන්ගේ වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පිහිටවියුතුයි කියලයි. එහිදී අපි ඒ සංවිධානයට නෛතික බලයක් දෙන්නත් අලුත් කම්කරු නීතිය යටතේ කටයුතු කරනවා.

අලුත් රැකී රක්ෂා පනතේ ඇතුල් කරලා තියෙනවා එක් එක් වෘත්තියට අදාලව තිබිය යුතු අවම කොන්දේසි ඇතුලත් කරන්න කියලා. එහිදී මේ කොන්දේසි හදන්නේ අපි නෙමෙයි. ඒවා හදාගන්නේ ඔබ සියලු දෙනා එකතු වෙලා සංවිධානයක් හදලා ඒ තුළින් අපිට කියනවා මෙන්න අවම කොන්දේසි කියලා. උදාරහණයක් විදිහට ගෘහ සේවයට ගන්නවා නම් ඒ ගෙදර අවම වශයෙන් මේ දෙවල් තිබිය යුතුයි. ඒ වගේම අපේ පැත්තෙන් මේවා තිබිය යුතුයි කියල. ඒවා අපිට යොමු කළාට පස්සේ අපි ඒවා නීතියට ඇතුලත් කරනවා.

නීතියට දාපු ගමන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහතික කිරීමක් ලැබෙනවා. එතකොට රට වටේ ඉන්න සියලුම ගෘහ සේවිකාවන් සම්බන්ධ කරගතයුතුයි. ඔබේ සියලු දේවල් ඔබමයි තීරණය කරන්නේ. එහෙම තීරණය කරපු දේවල් අපිට කිව්වාම අමාත්‍යවරයාට බලය ලැබෙනවා ඒවා ගැසට් කරන්න. එතකොට මේ කියන තත්ත්වයන් නැති අවස්ථාවලදී කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන්ට ඒ ගැන පැමිණිලි කරන්න, ඒ අයව අත් අඩංගුවට ගන්න හැකියාව ලැබෙනවා. එතකොට ඔබට යම් අකටයුත්තක් වුනොත්, ඔබව බලාගත්තේ නැත්තම් ඒ පිරිසව කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරියට කැඳවීමේ බලය ලබාදෙනවා.

අපිට තියෙනවා පනත සකස් වෙච්ච ගමන්ම ඔබ හදලා දෙන නීති රීති මාලාව ගැසට් කරන්න. ඒ වගේම අපිට තියෙනවා මාස 6ක් ඇතුලත ඔබව සේවක අර්ථසාදක අරමුදලට දායක කරවගන්නේ කියන වැඩපිළිවෙල. ඒ වැඩේ වෙද්දි අපි මේ වැඩේ ආරම්භ කරන්නයි හදන්නේ. අපි අතීතයට බැනලාවත් අතීතයට චෝදනා කරලවත්, අරයා කළේ නැහැ, මෙයා කළේ නැහැ කියලා, කියන්නේ නැහැ.

අපි අනාගතවාදී වෙමු. අපි අනාගතය ගැන හිතමු. අපි අනාගතයට වැඩ කරමු. අපි හැමෝම එකතුවෙලා මේක විසඳගමු.

රටක් විදිහටත් අපි ඉතිහාසයට බැනලා, ඉතිහාසයට චෝදනා කරලා වැඩක් නැහැ. අන්තිමට වෙන්නේ අපි හිත් වේදනාවෙන් කටහරි බනින එක විතරයි. ඒත් අපිට රටේ පැහැදිලි අනාගතයක් පෙන්න තියෙනවා. රට වැටිලා තිබුණ තැන ඉදලා, ආර්ථිකය ගොඩ නැගිලා තියෙනවා. ගෘහ සේවය තියා කිසිම සේවයක් කරන්න බැරි තරමට ආර්ථිකය කඩා වැටුණු රටක් මේක.

ගිය අවුරුද්දේ මැයි මාසය වෙනකොට රට ගිණිගත්තා, ගිණි තිබ්බා, පාර්ලිමේන්තුවත් ගිනි තියන්න ගියා. ඒ හැමදේම ඔබට මතකයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට රටේ බලය යන්න තිබුණ අවස්ථාවක් ඒක. පාර්ලිමේන්තුව ගිනි තියලා, කුඩු කරලා ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ රටේ බලය ගන්නයි ගියේ. ඒක හරියට ඇෆ්ගනිස්ථානයේ වගේ ත්‍රස්වාදීන්ගේ අතට බලය යන්න ගියපු අවස්ථාවක් නතර වෙලා නැවතත් රටේ සාමය, නීතිය ස්ථාපති වීමක්. සියයට හැත්තෑව දක්වා ගිය රටේ උද්ධමනය, සියයට එකයි දශම හතරට උද්ධමනය අඩුවෙලා තියෙනවා.

ඒ දවස් වල බඩුමිල වැඩි වුන වේගයට දිගටම බඩු මිල වැඩි වුනානම්, අද අපිට කන්න තියා හිඟාකන්නවත් ලැබෙන්නේ නැහැ. ඉහළ ගිය බඩුමිල තාම තියෙනවා ඒත් බඩුමිල ඉහළයාම නතරවෙලා තියෙනවා. ඒ නිසාමයි පවුල් ලක්ෂ විස්සකට අස්වැසුම ලබා දෙන්නේ.

සමෘද්ධිය වෙනුවෙන් බිලියන 60යි වෙන්කලේ. ඒත් අද බිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ඒ සමාජයේ අමාරුම අයට ජීවත් වෙන්න අවශ්‍ය අවකාශය හදන්නයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුපත් වැඩිවෙනවා. ඒ වගේම පුද්ගලික අංශයේ සේවකයාගේ වැටුපත් වැඩි කරන්න කියලා අපි ඉල්ලනවා. ඒත් අපි ගෘහ සේවිකාවගේ වැටුප් වැඩි කරන්න කියලා කාටද කියන්නේ. ඒකට තැනක් නැහැ. ඒ නිසාමයි මේ වැඩපිලිවෙල හැදෙන්නේ.

රට දැන් තැනකට ඇවිල්ලා තියෙනවා. මේ නීති රීති වෙනස් වෙනවා. අණ පනත් විතරක් හැට හැත්තෑවක් වෙනස් වෙලා, මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒත් අපි එහිදී ජනප්‍රිය නොවන තීන්දුයි ගන්නේ. අපි දන්නවා ලයිට් බිල, වතුර බිල වැඩිවෙලා තියෙනවා. ඒත් අපි ඡන්ද ගැන හිතන්නේම නැතිවයි මේ තීන්දු ගන්නේ. මොකද අපි අද ගැන නෙමෙයි රටේ අනාගතය ගැනයි හිතන්නේ. අමාරුම වෙලාවක ඉදලත් අපි අනාගතය ගැන හිතලා තීන්දු ගන්නේ මේ දේවල් වෙනස් කලයුතු නිසාමයි. අපි මේක වෙනස් කරගමු.

විදේශගත වෙන ශ්‍රමිකයන් විදින ගැටලු සම්බන්ධයේ පැමිණිලි කරන ගොඩාක් ක්‍රමවේද තියෙනවා. ඒත් ගෘහ සේවිකාවන් විදින දුක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.

ගොඩක් රාජ්‍ය නොවන සංවිධාන එළියට බැහැලා කෑගහනවා පිටරටවල ඉන්න අපේ ගෘහ සේවිකාවන්ට කරදර වෙනවා කියලා. ඒත් අපේ රටේ ඉන්න අය ගැන කිසිම සද්දයක් නැහැ. අවුරුදු ගාණක් ගෙවල්වල පඩි ගෙවන්නේ නැතිව තියාගෙන ඉදලා එළවලා දාන අවස්ථා තියෙනවා. මාසයට රුපියල් හය හත්දාහක් දීලා වහල් සේවය වගේ වැඩගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

කෑම ටික හරියට දෙන්නේ නැති තැන් ඕනෑතරම් තියෙනවා. ඒත් ඔබට හඬක් නැහැ. ඒ වගේම ඔබ හඬ ඇහෙන්නේ නැහැ. ඒ නිසාමයි හඬක් නැති ඔබ වෙනුවෙන්ම අපි මේ වැඩසටහන කරන්නේ. අපිට මේ රටේ සියලුම වෘත්තීය ක්ෂේත්‍රවලට ගරුත්වය ලබා දීලා, හැමදෙනාම එකම මට්ටමකට ගේන්නයි අපි අවශ්‍ය.

පිට රටවල නැනී කෙනෙක් කියලා ගන්නවා. ඒ අය සමහර වෙලාවට වාහනයක් පදවගෙනයි එන්නේ. ඇවිල්ලා වැඩ ටික කරලා යනවා. අපි කියනවා පිට රටවල් වල තණකොල කපන කෙනත් වෙනත් ඉහළ වෘත්තයක් කරන කෙනත් එකම බාර් එකෙන් තමයි බොන්නේ, එකම කඩෙන් තමයි ඇඳුම් ගන්නනේ කියලා.

ඒත් අද අපිට එකම කඩෙන් ඇදුම් ගන්න පුළුවන්ද? එකම තැනට ඔබව ගන්නවාද? ඇයි ඒ? ඒකට හේතුව සමාජ විශමතාවයක් හදලා තිබීමයි. ඒක වෙනස් කරන්නයි අපි මේ උත්සහ කරන්නේ. ඔබට ඒ ගරුත්වය දෙන්න, ඔබට ඒ වටිනාකම ලබා දෙන්න, ඔබට ඒ සාරවත්භාවය ලබාදෙන්නයි අපි මේ කටයුතු කරන්නේ.

විවිධ වෘත්තීන් වල වැටුප් මට්ටම් වෙනස් වෙන්න පුළුවන් ඒත් අවම දෙවල් ආරක්ෂා කරලා දීලයි ඒවා විය යුත්තේ. අපිට ඔබේ ජීවිත සාරවත් කරන්නයි ඕනේ. එහෙම නැතිව ”කයියනායකලා” විදිහට කතා කරලා විතරක් වැඩක් නැහැ. වැඩේ ක්‍රියාත්මක කරන්නම ඕනේ.

ඔබ වෙනුවෙන් අපි වැඩේ ක්‍රියාත්මක කරන්න සූදානම්. දැන් අපිට තියෙන්නේ ඔබෙන් අදහස් ගන්නයි.
ඒ වගේම අවුරුද්දකට සැරයක්, තුන්වන මට්ටමේ, දෙවන මට්ටමේ, ළමු මට්මේ කියලා ඔබව ශ්‍රේණිගත කරගන්න පුළුවන් නම් වටිනවා. උදාහරණයක් විදිහට උයන්න වගේම අනිත් සේරම පුළුවන් අයනම් ඒ අයට පළමු මට්මේ අය විදිහට සලකන ක්‍රමවේදයක් ගැනයි මම කියන්නේ. එතකොට ඒ මට්ටම් වලට අවම වැටුප් තීරණය කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට හැදුනුම්පතක් නිකුත්වෙනවා. එතකොට ගෙදරක වැඩ කරන්න ලයිසන් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ බලපත්‍ර ක්‍රමය ඔබ විසින්ම හදුන්වා දෙනවා. එතකොට ඔබට අභිමානයක් තියෙනවා. හැබැයි මේ කිව්වේ මට හිතෙන විදිහ. ඔබ තමයි ඔබට වඩාත්ම ගැලපෙන ක්‍රමය තීරණය කළ යුත්තේ.

ඇමතිට එකයි, ලේකම්ට එක තැනයි, ව්‍යාපාරිකයාට එක තැනයි, ගෘහ සේවිකාව තව තැනකයි තියන්න බැහැ. අපි හැමෝගෙම වෘත්තිය එකයි. අපි හැමෝම අපේ ශ්‍රමය වෙහෙසලයි කටයුතු කරන්නේ. ඔබටත් ඒ සමාන ගරුත්වය තිබිය යුතුමයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!