වලව ගොවීන්ගේ කුඹුරු වනසා, දකුණු පළාත කළුවරේ තබනා කවුද මේ රත්නපුරේ ආටිගල පරම්පරාව

උඩවලව ජලාශය සිඳී යාමත් සමග සමනලවැව ජලාශයෙන් ඊට ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම නිසා සමනල වැව විදුලි බලාගාරය අක්‍රිය වන බව විදුලිබල මණ්ඩළ ආරංචිමාර්ග පවසයි. ඒ අනුව දකුණු පළාතේ විදුලිබල සැපයුම අර්බුදයකට ලක්වීම වලකා ගැනීම සඳහා පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලට ගැනීමට සිදුවෙන බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

මෙසේ වීමට හේතුව ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කිරිමට පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා ඉදිකර ඇති කි.මී 150 කට ආසන්න රැහැන් මාර්ගයේ මීටර් 650 ක කොටසක් නිම කිරීමට පෞද්ගලික ඉඩම් හිමිකරුවන් පිරිසක් බාධා කිරිම බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසයි .

මතබේදයට ලක්ව ඇති මෙම මීටර් 650 ක කොටස තේ වගාවෙන් යුක්ත බවත් එය සබරගමුවේ ප්‍රකට ආටිගල පරම්පරාවට අයත් එකක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය . මෙම රැහැන් මාර්ගයේ ඉදිකිරීම් 99.6% නිමකර ඇති බවත් ඉතිරිව ඇත්තේ මීටර් 650 ක කොටස පමණක් බවත් වාර්තා වේ. එම කොටස ඉදිකර දකුණු පළාත ජාතික පද්ධතිය හා සම්බන්ධ කළේනම් විදුලි කප්පාදුවක අවදානම නැතිවන අතර ගොවිනට නිසි කලට ජලය නිකුත් කිරීමට හැකියාව ලැබෙනා බව වාර්තා වේ.

ඉඩම හරහා විදුලි පද්ධතිය ගෙන යාම සඳහා රුපියල් මිලියන 1.6 ක් රජයෙන් අනුමත වී ඇතත් ඉඩම් හිමිකරුවන් මිලියන 9.6 ක් ඉල්ලා සිටීමත් සමග වසර අටක කාලයක් තිස්සේ එම පද්ධති සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබෙන බව මධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසයි.

මේ අනුව දකුණු පළාත සඳහා විදුලිය ඇඹිලිපිටිය ප්‍රදේශයකින් පිහිටි පෞද්ගලික බලාගාරයකින් නියමිත බවත්, එමගින් විදුලිබල මණ්ඩළයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් වාසි ලබනා බවත් විදුලි වෘතීය සමිති කළක සිට චෝදනා කරති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *