වතු සමාගම් ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසට අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව මේ මස 27 වැනිදා එම පෙත්සම් කැඳවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

අභියාචනාධිකරණය විසින් එම රිට් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ නමුත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරනු ලැබුවා.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!