රට රැකියාවකට යන්න අවශ්‍ය නම් මේ ගැන සැලකිලිමත්වන්න

මේ දිනවල විදේශ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවත්, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල සහ මහනුවර යන පළාත් කාර්යාලවලින්ද විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි භාරගැනීම සිදුකරන බව ද ඔවුන් ජනතාවට දන්වා සිටිනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි 18 දක්වා ගතවූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් ලැබී ඇති බවත්, ඉන් පැමිණිලි 1051 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් එම කාර්යංශය පෙන්වාදෙනවා.

එසේම නීතිවිරෝධි රැකියා නියෝජිත් ආයතන 11ක් වැටලීම් කිරීමට ද විමර්ශන නිළධාරීන් පියවර ගෙන ඇති ගෙන ඇති බවත් වංචාකරුවන් 65 දෙනෙකුද මෙම කාලසීමාව තුළදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ඔවුන් පෙන්වාදෙනවා.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරට, විදේශ රැකියා වංචාවල නිරත වූ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල හිමිකරුවන් 8 දෙනෙකු ද අයත්.

2024 වර්ෂයේ මුල් මාස 5 තුළ කාර්යාංශයට ලද පැමිණිලිවලට අදාළව වින්දිතයින්ට රු.65,103,626.00 ක මුදලක් යළි අයකර දීමට ද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන්ට හැකි වී තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනේ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද එම නිවේදනය මගින් පෙන්වාදෙනවා.
ඒ අනුව විදේශ රැකියාවක් ලබා ගැනීමට සහාය අපේක්ෂා කරන ආයතනයට, වලංගු බලපත්‍රයක් තිබේද යන්න සොයා බැලිය යුතු බව එම කාර්යංශය පෙන්වාදෙනවා.

වලංගු රැකියා නියෝජිත ආයතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.
එසේම විදේශ රැකියා වංචාවල නිරතවන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2864241 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!