මුහුදේ පාවූ බෝතලය බිවූ හතරක්ම දැනට මැරිලා – ඉතුරු බෝතල් තවත් යාත්‍රාවලට දීලා

මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම ධීවරයින් වෙනත් ධීවර යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙන එන බවද පොලිසිය සඳහන් කළා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයන් හැකි ඉක්මනින් ගොඩට රැගෙන ඒමට මැදිහත් වන ලෙසට බල කරමින් අද පස්වරුවේ මාතර කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් හරස් කර ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූ අතර .
නාවික හමුදාව ධීවරයන් ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කරන බට පොලිසිය පැවසූ පසු ධීවරයින් විසිර ගොස් තිබෙනවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රතමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමණ යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.”

“මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!