බලාපොරොත්තු සුන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන නැවතත් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීම සුවිශේෂී වුණා.

එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග තරගාවලිය අතරතුර දී හිමි වූ පරාජය සම්බන්ධයෙන් අදහස් දකවමින් පැවසුවේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බව ද වනිඳු හසරංග පැවසුවා.

ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා තමයි අපට ජයග්‍රහණය කරා යන්න බැරි වුණේ. පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණ ඉලක්කටය යන්න බැරි වුණා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!