බන්ධනාගාර නිලධාරීන් යළි ලෙඩවෙන්න සූදානම්

බන්ධනාගාර නිලධාරිහු මේ මස 26 වැනිදා සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතයි.

වැටුප් වැඩිකිරීමක් මූලික කර ගනිමින් බන්ධනාගාර නිළධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලීමට තීරණය කර තිබෙනවා.

වසර දහයකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩි වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම ගැටලුව මූලුක කර ගනිමින් ඔවුන් පසුගියදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

එහි දී වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඉක්මනින් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එළැඹෙන 26 වැනිදා සිට නැවත දින නියමයකින් තොරව අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවයි බන්ධනාගාර නිලධාරී එකමුතුව සඳහන් කරන්නේ.

පසුගියදා සිදු වූ සාකච්ඡාවේ දී ජුනි මාසයේ වැටුපට සෑම නිලධාරියකුටම රුපියල් 15000 දීමනාව ලබා දෙන බවට පොරොන්දු වුවත් එය ඉෂ්ට නොවීම නිසා මෙලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට ලිපියක් යොමු කළ බව ද බන්ධනාගාර නිලධාරී එකමුතුව සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!