පොහොර සහනාධාර ‘වංචාව පසුපස ‘පෙට්ටි කඩ පහක්

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දුන් බව පවසා රජයෙන් රුපියල් 1400ක සහනයක් ලබාගෙන රජයේ මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ප්‍රධාන පෙළේ පොහොර සමාගම් හතක සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ කඩපහක බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළා.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරට පොහොර සමාගම් 18 විසින් රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබදිය යුතුව තිබියදී , රුපියල් 3500කට කාබන් නිෂ්පාදන සමාගමකට අලෙවිකර ගොවින්ට ලබා දුන් බව අඟවමින් රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ බැංකු වාර්තා කැඳවීමට නියෝග කෙරුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර අදාළ පොහොර තොග ඒකල හා පැහැදිලිගොඩ ප්‍රදේශයේ පිහිටි තොග ගබඩා මගින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන මෙරට කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව මෙතෙක් කළ විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

පොහොර මිලදී ගැනීම සඳහා ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කළ ආයතන පහක් පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,කොළඹ ප්‍රදේශයේ පිහිටි තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන මගින්ද පොහොර ලබාදුන් බවට මුදල් ලබාගැනීමට ඉන්වොයිස් පත්‍ර යොමු කර ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!