පියුමි හංසමාලිගේ වත්කම් ගැන සැකයි – ගිණුම් වාර්තා කැඳවන්න නියෝග

සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නැමති නිරූපිකාවගේ ගිණුම් වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමටයි මෙලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර දී ඇත්තේ.

එම වත්කම් උපයා ගත් ආකාරය හෙළි කර ගැනීමට සහ සංවිධානාත්මක අපරාධ මගින් එම මුදල් උපයගත්තේ ද යන්න පිළිබඳව කරන පරීක්ෂණයක් සඳහා රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුව බැංකු වාර්තා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග නිකුත් කර තිබෙනවා.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂ අටසීයක රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීමත්, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීමත්, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!