පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක අබ්දුල් රසාක් අයිශ්වර්යා රායිගෙන් සමාව ඉල්ලයි

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අබ්දුල් රසාක් 2023 ලෝක කුසලානයෙන් පාකිස්තානය කලින් ඉවත්වීම පිළිබඳ සාකච්ඡාවකදී උදාහරණයක් ලෙස බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් සම්බන්ධව කළ අප්‍රසන්න ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල දැඩිව විවේචනයට ලක්ව ඇත.

ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර එය හිතාමතා සිදු වූවක් නොවන බවද ඇයගේ නම ඉතා අහම්බයෙන් මතු වූවක් බවද වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියේය.

එකී ප්‍රකාශය හරහා ඇයට අපහාස කිරීමේ චේතනාවක් තමන්ට නොතිබුණු බව ද ඔහු එහි පැහැදිලි සඳහනක් කර ඇත.

ලෝක කුසලාන තරඟාවලියේ දී පකිස්ථානයේ දස්කම් සහ පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ පිළිබඳව සාකච්ඡා කිරීමේ උත්සවයක් අමතමින් රසාක් මෙම ප්‍රකාශය සිදු කළේය.

“මම ක්‍රීඩා කරන විට මගේ නායක යුනිස් ඛාන්ගේ හොඳ චේතනාව ගැන මම දැනගෙන හිටියා. ඒක මට විශ්වාසයක් ඇති කළා…පාකිස්ථාන ක්‍රිකට් වෙනුවෙන් මට හොඳින් දස්කම් දක්වන්න පුළුවන් වුණා,” ඔහු මාධ්‍ය හමුව අතරතුර පැවසීය.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලට පිළිබඳ සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “මගේ මතය අනුව, ක්‍රීඩකයින් වැඩිදියුණු කිරීමට අපි ඇත්තටම අදහස් කරන්නේ නැහැ. මම ඓශ්වර්යා (රායි)ව විවාහ කර ගන්නේ යහපත් ගති පැවතුම් ඇති සදාචාර සම්පන්න දරුවෙකු ලැබීමට බව ඔබ විශ්වාස කරන්නේ නම් ඒක කවදාවත් සිදුවෙන එකක් නෑ. එමනිසා, ඔබ පළමුව ඔබේ අභිප්‍රාය සංශෝධනය කළ යුතුයි.”

බොහෝ පාර්ශවයන් අබ්දුල් රසාක්ගේ මෙම අදහස් දැක්වීමට පමණක් නොව එම අවස්ථාවට සහභාගී වී සිටි අනෙකුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෂාහිඩ් අෆ්රිඩි සහ උමාර් ගුල් ඔහුගේ ප්‍රකාශවලට විරුද්ධ නොවීම ගැන දොස් පවසති.

“රසාක් විසින් කරන ලද නුසුදුසු විහිළු හෝ සැසඳීම මම දැඩි ලෙස හෙළා දකිනවා. කිසිම කාන්තාවකට මෙවැනි අගෞරවයක් සිදු නොවිය යුතුයි. ඔහු අසල වාඩි වී සිටින අය සිනාසීමට සහ අත්පුඩි ගසනවාට වඩා වහාම හඬ අවදි කළ යුතුව තිබුණා.” ඔහු X හි සටහනක් තබමින් පැවසීය. මෙලෙස රසාක්ගේ ප්‍රකාශය හිටපු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ද හෙළා දැක තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!