දූෂණයෙන් තොර රටක් හදන්න දේශපාලන කාන්තා නියෝජනය වැඩි කරන්න

2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පවසනවා.

එම විෂයන් හැදෑරීමට සිසුවියන් ද වැඩි උනන්දුවක් දක්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැනවීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය, ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ලෝකයේ රටවල් විසින් ළඟා කරගත යුතු තිරසට සංවර්ධන ඉලක්ක දහහත අතර පස් වෙනි කරුණ ලෙස ඉතා වැදගත් ස්ථානයක් දී ඇති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙරට ඉතා සාධනීය මට්ටමක පවත්නා බවයි.

ලොව බොහෝ රටවල මේ කරුණු සම්බන්ධ විවිධ ගැටලු පවතින නමුත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය පවා බිහි කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සාධනීය පූර්වාදර්ශ අප රට සපයා ඇති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

තව වසර පහක් ඉක්ම යද්දී සෑම ක්ෂේත්‍රයක ම ප්‍රමුඛත්වය ගනිමින් කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි කී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පරිපාලන ක්ෂේත්‍රය තුළ ද බහුතරයක් සිටිනුයේ කාන්තාවක් බව පැවසුවා.

එහෙත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 225 දෙනා අතර කාන්තා නියෝජනය ඇත්තේ 12 දෙනකුගේ තරම් අතළොස්සක් බවත් මේ තත්වය වෙනස් කර දේශපාලන ක්ෂේත්‍රය තුළ පක්ෂ භේදයකින් තොරව කාන්තා නියෝජනය වැඩි කිරීම මගින් දූෂණ වංචා වලින් තොර රටක් නිර්මාණය කළ හැකි වනු ඇතැයි කියා තමන් විශ්වාස කරන බවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

එසේ ම අනිතුත් ක්ෂේත්‍රවල මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද ඉදිරි අභියෝගයක් වූ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ද මෙරට බාලිකාවන්ට පහසුවෙන් ම ජයගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියා.

එම අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම සඳහා හුරු විය හැකි අතර ම වෘත්තීය පුහුණුවෙන් ඔබ්බට ගොස් නවෝත්පාදන හා ඒවා සඳහා සුදුසු වෙළෙඳ පොළ සකසා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම දක්වා ගමන් කළ යුතු ව තිබෙන බවත් හෙතෙම එහි දී අවධාරණය කළා.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද එම අවස්ථාවේ දී සිදු වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!