“තෙත්බිම් උද්‍යාන” පාරිසරික සංචාරක ව්‍යාපාරයට නව අවස්ථා විවෘත කරනවා

සෑම නාගරික තෙත්බිමක්ම මුහුණ දී සිටින ගැටලුවල පොදු ස්වභාවය සලකා බලමින් තෙත්බිම් කළමනාකරණ සම්බන්ධයෙන් පොදු විසදුම්වලට එළැඹීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කර තිබෙනවා.

අග්‍රමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ  ආසියානු සමළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.

එම සමුළුවේ සමාරම්භක උත්සවයේ අද (17) උදෑසන වෝටර්ස් ඒඩ්ජ්හිදී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය,

“තෙත්බිම් සබඳතා ජාත්‍යන්තර – ආසියා ඕෂනියා සමුළුවේ සමාරම්භක උත්සවයට පැමිණීමට ලැබීම භාග්‍යයක් ලෙස මම සලකනවා. “පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ තෙත්බිම් කළමනාකරණය පිළිබඳ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා රටවල් 15කට අධික ප්‍රමාණයක තෙත්බිම් විශේෂඥයින් 100ක් පමණ  මෙම සමුළුවට එක් ව සිටිනවා.

ඕනෑ ම ප්‍රධාන නගරයක වෙසෙන ජනතාවගේ යහපැවැත්ම සඳහා තෙත්බිම් අවශ්‍යයි. අපගේ වාණිජ නගරය වන කොළඹටත් එය අදාල නිසා මෙම සමුළුව අතිශයින් වැදගත් වෙනවා. නගරයේ මානව යහපැවැත්මට දායක වන ප්‍රතිලාභ රාශියක් තෙත්බිම් මගින් ලබාදෙනවා. කොළඹ තෙත්බිම් සංකීර්ණය පළාත් පාලන ආයතන හයක් යටතේ පවතිනවා. පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කොළඹ මහා නගර සභාව, කඩුවෙල මහා නගර සභාව, කොළොන්නාව නගර සභාව, මහරගම නගර සභාව සහ දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව ඒ පලාත් පාලන ආයතනයි.

මෙම ප්‍රාදේශීය පාලන ප්‍රදේශ යටතට වැටෙන නාගරික තෙත්බිම්, නගරයේ සංවර්ධන සැලසුම්කරණයේ දී ප්‍රධාන අංගයක්. වසර 150ක් පැරණි තෙත් බිම් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය තවත් වසර 150ක් පවතිනු ඇතැයි සහතික කර තිබෙනවා.

දකුණු ආසියාව පුරා දේශගුණික විපර්යාසවලින් සිදුවෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිනවා.  සෑම දිනකම මාධ්‍ය මඟින් අපගේ ප්‍රදේශවල සිදුවෙන විනාශකාරී බලපෑම් අපි දකිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණ සමුළුවේ දී ප්‍රකාශ කළ පරිදි දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසු වනවා.

අධික වර්ෂාපතනය අතරතුර, කොළඹ නගරයේ තෙත් බිම්වල ජලය ඝන මීටර් මිලියන ගණනක් ගබඩා කෙරෙනවා. පොම්පාගාර වැනි හරිත, යටිතල පහසුකම් (කුණාටු ජල කළමනාකරණයට අවශ්‍ය යටිතල පහසුකම්) සඳහා අපගේ මැදිහත්වීම් සහ ආයෝජන නගරයට ඔරොත්තු දෙන තත්ත්වයට පත් කර විකල්ප විසඳුම්වලට යොමුවීම වඩා ලාභදායී  වෙනවා.

නාගරික තෙත්බිම් ඥානවන්ත ලෙස භාවිත කිරීම අගය කිරීම සඳහා රැම්සා තෙත්බිම් නගර ප්‍රතීතන යෝජනා ක්‍රමය මගින් 2018 වසරේ කොළඹ නගරය රැම්සා තෙත්බිම් නගරයක් ලෙස පිළිගෙන තියෙනවා.

වැදගත්ම දෙය නම් තෙත්බිම් නගරයක් ලෙස පිළිගැනීම ලැබූ පළමු අගනුවර කොළඹ වීමයි. සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර තිරසාර සංචාරක සංකල්පය ලොව පුරා මෑත වසරවලදී සැලකිය යුතු අවධානයක් දිනා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය යනු වැදගත් ගෝලීය ඉලක්ක රාශියක් සාක්ෂාත් කර ගැනීමට දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක්. ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමතුලිත කිරීමට උත්සාහ කරන තිරසාර සංවර්ධනය 1992 රියෝ පෘථිවි සමුළුවේ සිට ප්‍රධාන වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා.

එබැවින් පළමු තෙත්බිම් සබඳතා ජාත්‍යන්තර ආසියා – ඕෂනියා සමුළුවේ තේමාව වන “පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” තිරසාර සංවර්ධනය සඳහා රජයේ ජනවරම සහ උත්සාහයට බෙහෙවින් අදාළයි. වැදගත්ම දෙය නම්, නාගරික පරිසරයක පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ දී තෙත්බිම් උද්‍යාන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

මෙය අවසානයේ දේශීය හා විදේශීය සංචාරකයින් අතර පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති. නාගරික මධ්‍යස්ථාන අසල තෙත් බිම් නේවාසික, කාර්මික සහ වාණිජ පහසුකම්වලින් වැඩි වන සංවර්ධනීය පීඩනයකට ලක් ව තිබෙනවා. එබැවින් කුඩා හෝ විශාල බව නොතකා සෑම නාගරික තෙත් බිමක්ම තීරණාත්මක වන අතර ඒවා සුරැකීමේ වගකීම අප සාමූහිකව දැරිය යුතු වෙනවා.”

තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කර ගත් මෙම සමුළුවට ලොව පුරා රටවල් පහළොවක තෙත්බිම් උද්‍යාන හැත්තෑවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටිනවා.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 14 සිට 21 දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!