තර්ජන තිබුනත් මම ඉල්ලා අස්වෙන්නේ නෑ – ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර ගෙන් තමන්ට තර්ජන එල්ල වෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්
මෙම තත්ත්වය උදාවී ඇතිබවත්, මේ රටේ දේශපාලන ඉතිහාසයේ කැබිනට් ඇමැතිවරයකුට මෙවැනි තර්ජනයකට මුහුණ දිමට සිදුවූ මුල්ම අවස්ථා මෙය බවත්, මේ සම්බන්ධයෙන් තමන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියකින් තොරව සභාපති ශම්මි සිල්වා විසින් නොවැම්බර් 6, 7 සහ 9 යන දිනවල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) දේශපාලන ලිපි තුනක් යවා ඇතිබවත්, එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ICC බලධාරීන් නොමඟ යවා ඇති බවත් ඔහු සඳහන් කළේය

එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඇති වූ විශාලතම කළු පැල්ලම මෙන්ම විශාලතම පාවාදීම බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ඉල්ලා අස්වන ලෙස තමාට කිසිවකුගෙන් උපදෙස් ලැබී නොමැති බවත්, එසේ නොමැතිව පක්ෂ මාරු කිරීමට හෝ විපක්ෂයේ අසුන් ගැනීමට තමාට අදහසක් නොමැති බවත්, ජාතික ක්‍රීඩා සංගම්වල දූෂණ මැඩලීම තම එකම අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!