ජනපති රනිල් කුඹුරට බසී .

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉදිරි වගා කන්න 6 තුළ මෙරට වී වගාව දෙගුණයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත තත්ත්වයකට පැමිණ ඇති නමුත් දිවයින පුරා ඇති සියලුම කුඹුරුවලින් එකම අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වී තිබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙ අවධානයට ලක්ව තිබේ.

මේ රටේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 2.5 සිට 4.5 දක්වා වෙනස් අගයක් ගන්නා අතර ඇතැම් දිස්ත්‍රික්කවල ගොවීන් මෙට්‍රික් ටොන් 11ක් දක්වා වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ වී වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම සහල්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකා සහල් සඳහා ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමක් පවත්වා ගැනීමට ද රජයේ අවධානය යොමුව ඇත.

එබැවින් ගොවීන්ට වී අස්වැන්න ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. එමෙන්ම ඊට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ප්‍රතිපාදන රජය විසින් ලබාදෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ අටකි. කන්න දෙකේ වගා කරන වී ප්‍රමාණය වසරකට හෙක්ටයාර් මිලියන 1.3 කි. සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් පමණ වේ. නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර වාර්ෂිකව මෙරට පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වේ.

අවශ්‍ය තරම් සහල් රට තුළ තිබුණද රජයේ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ජනතාවට අවම මිලට සහල් පරිභෝජනය කිරීමට ඉඩකඩ සැලසීමේ අරමුණින් රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *