ඉන්දියාවෙන් ලංකාවට එවන්න හැදූ මත්ද්‍රව්‍ය තොගයක් අහු වුණ හැටි

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිට රුපියල් කෝටි 150 ක් පමණ වටිනා හෂීස් කිලෝ ග්‍රැම් 80 ක් හා කොකේන් කිලෝ ග්‍රැම් 90 ක් මන්නාරමට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 15 දා ඉන්දියාවේ තමිල්නාඩු – වේලන්කන්නි පොලිසිය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෝටර් රථයක විශේෂ කුටීරයක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා කිලෝ මීටර් 1500 ක දුරක් ගෙවමින් මේ ව්‍යාපාරිකයන් දෙදෙනා එම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ වේලන්කන්නි ප්‍රදේශයට රැගෙන විත් තිබෙනවා. අනතුරුව ධීවර බෝට්ටුවකට පැටවා එම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට එවීමටයි සැලසුම් කර ඇත්තේ.

පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් නවාතැන්ගෙන සිටි හෝටලයක් වටලා ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට ඇති අතර අනතුරුව මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා කාලයකට ඉහතදී යාපනයේ සිට ඉන්දියාවට ගොස් එහි පදිංචි වි සිටින ව්‍යාපාරිකයෙක්.

මේ දෙදෙනාට සහය වූ බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යන අතර දැනට අත්අඩංගුවට පත් දෙදෙනාව වේලන්කන්නි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!