අනුමැතිය දුන්නොත් ජූලි 1 වැනිදා සිට මුද්දරයක මිල වැඩි කරනවා

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා.

ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු සදහන් කළා.

2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50ක් වෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව අනූෂ මහතා පෙන්වාදෙනවා.

මුද්දරයක මිල හදිසියේ ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් srilankanews.lk අප කළ විමසීමක දී ඔහු මෙලෙස වැඩිදුර අදහස් පළ කළා.

“තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව මිලියන හත්දහසක් පමණ පාඩු ලබනවා. පසුගිය වසරේ මුද්දරයක අවම මිල රුපියල් 50 දක්වා වැඩි කලාම එම පාඩුව රුපියල් මිලියන තුන්දහස දක්වා අඩු වුණා.

නමුත් නැවතත් 2024 වර්ෂය වන විට එක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩිකිරීමට ආණ්ඩුව පියවර ගත් නිසා තව මිලියන දෙදෙහස් අටසියයක් තැපැල් දෙපාර්තමේන්තුවට යොදවන්න සිදුවෙනවා. ඒ වගේම ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවෙනවා.

මේ තත්ත්වය නිසා මුද්දරක මිල වැඩිකිරීම සිදු නොකළොත් ඇත්තටම නැවත මිලියන හත්දසකට ආසන්න ගණනක් පාඩු ලබන්න සිදු වෙනවා.

ඇත්තටම ලංකාවේ මුද්දර භාවිත කරන්නේ මිලියනයකට වඩා අඩු පිරිසක්. තැපැල් දෙපාර්තමේන්තුව මේ තරම් විශාල වශයෙන් පාඩු ලැබුවම එම පාඩුව ගෙවන්න රටේ හැම මනුස්සයෙකුටම සිදු වෙනවා.

ඒ නිසා තමයි තැපැල් දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය සාකච්ඡා කරලා මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකරන්න අපි තීරණය කළේ. භාණ්ඩාගාරය මේ යෝජනාව අනුමත කළොත් ජූලි මාසයේ 1 වැනිදා ඉදලාම අපි මුද්දරයේ මිල වැඩි කිරීම සිදු කරනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!