හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩකයෙකි. පසුගිය දින බී.බීසී සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වන සංගා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව බොහො කරුණු අනාවරණය කර තිබුනා.

එහිදි සංගා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවට පත්වූයේ 1999 වසරේදි අර්ජුන රණතුංගගෙන් සනත් ජයසූරීයට නායකත්වය හිමිවීමෙන් බවයි. අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළද 99 ලෝක කුසලානයේ මුල් වටයෙන්ම ශ්‍රී ලංකාවට ඉවත් වීමට සිදුවූ බවත් සංගා පවසනවා. අර්ජුන රණතුංග නායකත්වයෙන් ඉවත් වූ පසූ කණ්ඩායම් රැස්වීම් පවා නිදහසේ පැවැත්වූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වීමට එය මහත් රුකුලක් වූ බවත් සංගා පවසනවා.

එහිදි සංගා දැක්වූ අදහස් පහතින්,

‘‘දේශපාලන හැල හැප්පීම් අපි ක‍්‍රිකට් ගහන කාලේ තිබ්බ එක ඇත්ත. ඒක මම නායකත්වය දරන කාලේ විතරක් නෙමෙයි. මහේල” මාවන්” හෂාන් තිලකරත්න” සනත් ජයසූරිය නායකත්වය දරද්දීත් මේ දේවල් තිබ්බෙ නැතිව නෙවෙයි. නමුත් යම් යම් කාලවල්වලට අඩු වැඩි වශයෙන් ඒවා බලපෑවා. නමුත් දේශපාලන ගැටුම් මතිමතාන්තර මොන දේ තිබ්බත් අපේ වගකීම වුණේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හරියට කරන්න"

"සමහර වෙලාවට ක‍්‍රීඩාවෙන් අයින් වෙලා ගියාම සමහර ක‍්‍රීඩකයන්ට බයක් එන්න පුළුවන්. අපිට වඩා ඒ අය හොඳ වෙයිද? අපිට වඩා ලෝක කුසලාන මේ ගොල්ලන් දිනයිද? එතකොට අපිට මොනවද වෙන්නෙ? එහෙම හිතනවා නම් ඒක ලොකු වරදක්. සමහර විට අපි හිතනවා ක‍්‍රිකට් ගහපු නිසා උදව් කරන්නම ඕනේ කියලා. එතකොට ඕනේ නැති වෙලාවටත් උදව් කරන්න බලනවා. ඕන නැති වෙලාවටත් දෙයක් කියන්න බලනවා. ඒ නිසා මේ ගැන පරිස්සම් වෙන්න ඕන". යනුවෙන් සංගක්කාර පවසා සිටියේ මෙරට හිටපු ක‍්‍රිකට් නායකයකුට විය හැකිය. නමුත් සංගක්කාර කිසිදු නමක් සඳහන් නොකර සිටීමට වගබලා ගත්තේය.

අර්ජුන රණතුංගගෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වය හිමිවූයේ සනත් ජයසූරියටය. එතැන් සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් වෙනසක් ඇති වූ බවද සංගක්කාර සඳහන් කර සිටියි.

"අදහස් වලින් ක‍්‍රීඩා විලාශයෙන් සියලූ දෙයින් වෙනසට ඉඩ දෙන්න ඕනේ. ඒ වෙනසේ වටිනාකමක් තියෙනවා කියලා තමයි 99 දී ජයසූරියගේ නායකත්වයෙන් පස්සෙ ගමන තිබ්බෙ. 96 සිට 99 දක්වා තිබුණු ගමනට වඩා ඒක ගොඩක් වෙනස්. 96 ඉඳලා කී‍්‍රඩා විලාශයේ වෙනසකට ඉඩ දුන්නෙ. නමුත් අදහස්වල වෙනස්වීමට ඉඩක් තිබ්බෙ නැහැ. 99 ඉදලා ඒ දේ වුණා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් වැරදියි කියලා කණ්ඩායම් රැස්වීමේ කතාකරන අයිතිය 99 ඉඳලා දුන්නා කිසිම දඬුවමක් නැතිව. ඒකෙන් අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය ශීඝ‍්‍රයෙන් දියුණු වුණා. මොකද 96 ලෝක කුසලානය දින්නට 99 දී අපි පළමු වටයෙන්ම ඉවත් වුණා. නමුත් එදා ඉඳලා අද වෙනකම් දැක්කොත් අපි විශේෂිත වූ ලෝක කුසලාන විශේෂිත තරගවල සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා"

තමා කණ්ඩායමට පැමිණි කාලයේදී තමන්ට එරෙහිව පෙළපාලි පවා ගිය බව සංගක්කාර සිහිපත් කරයි. "මට මතකයි මොරටුවේ පෙළපාලියක් ගියා. මම ආපු කාලෙ ත‍්‍රීවීලරයක ගමනක් යද්දි මගෙන් ඇහුවා ඔයා රොමේෂ් කළුවිතාරණ එක්ක කතාවත් නොකරනවා ඇති නේද කියලා. දෙන්න තරහද කියලා. ඒ ත‍්‍රිරෝද රථය පදවන මහත්තයා දැනගෙන හිටියේ නැහැ රොමේෂ් කළුවිතාරණයි මමයි හොඳ යාහළුවෝ කියලා. මමත් විහිළුවට වගේ කිව්වා අපිනම් කතාවත් කරන්නෙ නැහැ කියලා."