තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී හෙට (12දා) ආරම්භ වන්නේ මෙම ක්‍රීඩා පිටියේදී ඉන්දියාව සහභාගි වන පළමු ටෙස්ට් තරගය ලෙසිනි.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය.

මෙවර සංචිතය සඳහා කැඳවා තිබෙන දකුණුතින් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ මාස 8 කට පසුවයි.

මේ අතර ලහිරු ගමගේ ටේස්ට් සංචිතයට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එක්දින තරග 5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගය සඳහා සහභාගී නොවේ. මෙම ක්‍රීඩා පිටියේදී පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් පළමු ඉනිමේදී කඩුලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දවාගත් චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් මෙම තරගය සඳහා යොදවා ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු විශිෂ්ට පිතිකරු අරවින්ද ද සිල්වාගේ පිතිහරඹ රටාව ඉස්මතු කළ හැකි වර්ගයේ පිතිකරුවකු ලෙස සැළකෙන හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පල්ලෙකැලේ ටෙස්ට් තරගයේදී අංක 4 පිතිකරු ලෙස උසස්වීමක් ලබාදී එවැනි ප්‍රහාරයක් කරා ඔහු යොමුකරවීමට ද කණ්ඩායමේ සැලසුමක් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාව මේ වනවිට තරග 2 ට 0 ක් ලෙස තරගාවලියේ ජයගෙන සිටී.

ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර ඇතුළත් කර ඇත.