වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ  සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවටත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටත්, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ටත් මෙම වාරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සිදු වී ඇති අපහසුතාවන් පිළිබඳව ද අවධානය යොමු කර මෙම පියවර ගත් බවයි.

විශේෂයෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස් සමග සන්නිවේදනය කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතාවන් ගැන රජය අවධානය යෙමු කර ඇත.

පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් වලදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පාලනය කිරීම නිසා ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරනු ලැබී ය.