දූෂණයට ලක්වීමෙන් මේ වන විට ගැබ්ගෙන සිටින වයස අවුරුදු 10ක දැරිය ගබ්සාවට ලක් කළ යුතුදැයි තීරණය කිරීම සදහා අදාළ දැරිය පරීක්ෂාවට ලක් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරුන්ට නියෝගකර තිබේ.

දැරියගේ දෙමාපියන් විසින් දියණියගේ දරු ගැබ ඉවත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බව වාර්තා වේ. අදාළ දැරිය මේ වනවිට සති 26 ක දරු ගැබක් දරා සිටින බවට වාර්තා වන අතර ඇයගේ ශරීරය දරුවෙකු වැදීම සදහා ප්‍රමාණවත් ලෙස වර්ධනය වී නොමැති බව වෙවද්‍යවරු පවසා ඇත.

ඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ කළලයක් ඉවත් කිරීමට අවසර නොලැබේ. අදාළ 10 හැවිරිදි පසුගිය මාස 07 ඇතුළත කිහිපවරක්ම තම මාමා විසින් දූෂණය කරනු ලැබ ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.

එම පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. දැරිය උදරයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබිණියක් බවට අනාවරනය වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත දැරිය හෙට(26) වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ. ්එ අනුව දරු ප්‍රසූතිය ඇගේ ජීවිතයට කෙතරම් අවදානම් සහගත විය හැකිද යන්න පරීක්ෂණයේදී විනිශ්දය කිරීමෙන් අනතුරුව දැරිය ගබ්සාවට ලක්කරන්නේදැයි තීරණය කරනු ලැබේ.

මෙම දරුගැබ ඉවත් කිරීම සදහා අවසර දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම ඉන්දියාවේ චන්දිගාර්හි දිස්ත්‍රික් අධිකරනය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කර ඇත.