90 දශකයේ අගභාගයේ කලා ක්ෂේත්‍රයට එක්වූ කාංචනා කංකානම්ගේ මේ වන විට නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ප්‍රකටව සිටියි. පානදුර උපන් ගම වූ කාංචනා කාන් ලෙස කවුරුත් හඳුනන ඇය ටෙලි නාට්‍ය සඳහා දායකත්වය දක්වා ඇති අතර වෙළඳ දැන්වීම් හරහා පුංචි තිරයේ දක්නට ලැබුණු චරිතයකි.  2008 වසරේ මිස් ශ්‍රී ලංකා මැක්ස් ක්වීන් දිනූ කාංචනා ශ්‍රී ලංකා නිව්ස් සමඟ කතාබහක යෙදුණේ මෙලෙසිනි. 

රංගන ශිලිපිනියක් ලෙස කටයුතු කර ඇති ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයට යොමු වීමට ද බලාපොරොත්තුවෙන් සිටියි. ඒ පිළිබඳ සහ තමා ආ ගමන් මග පිළිබඳ කාංචනා පැවසුවේ මෙලෙසයි.

"මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොඩාක් කාලෙකට කලින්. ඒ 1999 වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව හදාරපු 3 වන කණ්ඩායමේ සාමාජිකාවක් විදියට. රංගනයට යොමු වෙන්න මට අවස්තාව හිමිවෙන්නේ “දාමනී” කියන ටෙලි නාට්‍ය හරහායි. ඉන් පස්සේ තවත් ටෙලි නාට්‍ය කිහිපයකටත් වෙළඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙන්න මට පුළුවන් වුනා.

2008 වසරේ මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරමින් මැක්ස් ක්වීන් ටයිට්ල් එක දිනා ගැනීමට මට හැකියාවක් ලැබුණා. ඒ වගේම ලතින් ඇමරිකන් නර්තන ශෛලිය, බැලේ නර්තනය ප්‍රගුණ කරලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට මම යොමුවෙන්නේ විනෝදාංශයක් විදියට නෙවෙයි කලාවට තියෙන ආසාවටයි.  ඒ ගැන යම් හැදෑරීමක් කරල තමයි මම මේ ගමන ආවේ. මේ වන විට ව්‍යාපාරයක් කරගෙන යන අතරම විවිධ ඉවෙන්ට්ස් වලට, බ්‍රයිඩ්ල් වලට සම්බන්ධ වෙනවා. නැවතත් යම් නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවක් තියනවා. නිරූපනයෙන් වගේම සිනමාවෙන් ඉදිරියට යන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා."

ඉමේෂ් නුවන්දකගේ කැමරා කාචයේ සටහන්වූ සැලෝන් අභිමානී වෙතින් හැඩගන්වන ලද ඇයගේ සොඳුරු ජායාරූප පහතින්.