අනුරාධපුර නිවසක තිබී සොයාගත් අභිරහස් ලෙස මියගොස් සිටි පිරිමි පුද්ගලයා සහ කාන්තාව පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ වනවිට හෙළිවී ඇත්තේ මියගොස් සිටි පිරිමි පුද්ගලයා විසින් එම කාන්තාව ඝාතනය කර පසුව තමන්ද ගෙළවැලලාගෙන මියගොස් ඇති බවය.

අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබියදීයි පොලිසිය විසින් එම මළසිරුරු අද(13) උදෑසන සොයාගනු ලැබුවා.ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු අද උදෑසන සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.අදාළ ඝාතනය සහ සියදිවිහානිකරගැනීම ඊයේ(12) රාත්‍රියේ සිදුව ඇති බවට මේ වනවිට පොලිසිය සැකපළ කරයි.

මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා 42 හැවිරිදි එක්දරු පියෙකි.ඔහු මීට වසර 5 කට පමණ පෙර තම බිරිඳ විදෙස්ගතවීමෙන් අනතුරුව දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක් සමඟ අනියම් සම්බධන්ධයක් ඇතිකරගෙන තිබේ.

පසුව ඔහු විසින් එම කාන්තාව අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ තම නිවසට කැඳවාගෙනවිත් එකට සිට තිබේ.ඔවුන් සමඟ ඔහුගේ පළමු විවාහයේ 13 හැවීරිදි දරුවාද එම නිවසේම සිට ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් අනතුරුව මෙම පුද්ගලයා සහ අදාල කාන්තාව අතර ගැටුම් ඇතිවූ බව ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කළේය.

ඒ අනුව අවසානයේ ඔවුන්ගේ නිවසේ සිටි කුඩා දරුවාද එම නිවස අතහැර ගොස් තම නැන්දණිය ගේ නිවසේ වාසය කර තිබේ. අදාළ නැන්දනිය වන කාන්තාව සියදිවි හානිකරගෙන මියගොස් සිටි පිරිමි පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය වේ.සැකකරු සියදිවි හානිකරගැනීමට පෙර තම සොහොයුරිය හමුවූ බවත් එහිදී ඔහු විසින් තමන් වැඩිකල් නොසිටින බව තමන් සමඟ ප්‍රකාශකළ බවත් සොහොයුරිය ප්‍රකාශ කර තිබේ.

එහිදී තමන් සතු සියලු දේපල තම පුතණුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.කෙසේ වෙතත් සැකකරු සියදිවි හානිකරගැනීමට පෙර ලියාතැබූ ලිපියක් පසුව නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.එහි දැක්වෙන්නේ දරුවට සහ තමන්ට සිදුවන කරදර හේතුවෙන් තම අනියම් බිරිඳ ඝාතනය කර බවය.තමන්ට හිමි නිවාස ඇතුළු සියලු දේපල තම දරුවාට ලබාදෙන ලෙසට ඉල්ලාසිටි බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.